සටන් විරාම ගිවිසුම අත්සන් කළ පසු අයවැය රනිල්ට සුනාමියක්‌ වූවා සේ ඉදිරි අයවැයත් මහින්දට සුනාමියක්‌ - ලාල් කාන්ත

Tuesday, April 13, 2010 0 comments
සටන් විරාම ගිවිසුම අත්සන් කළ පසු ඉදිරිපත් කළ අයවැය රනිල් වික්‍රමසිංහ මහතාට සුනාමියක්‌වූවා සේ ඉදිරි අයවැයත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සුනාමියක්‌ වෙනවා ස්‌ථීර යැයි ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. පැලවත්ත පිහිටි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වු ලාල්කාන්ත මහතා මෙසේද පැවසීය.
තව වසර හයකින් මහ මැතිවරණයක්‌ නැහැ. අවුරුදු හයහමාරකින් ජනාධිපතිවරණයක්‌ නැහැ. මේ කාලයේදී ව්‍යවස්‌ථා සංශෝධනය ප්‍රධාන මාතෘකාව ලෙස ගෙන සාකච්ඡා කළොත් සමාජයේ ඇත්ත ප්‍රශ්න ආණ්‌ඩුව විසින් යටපත් කරයි. එනිසා ඇත්ත ප්‍රශ්න ව්‍යවස්‌ථා සංශෝධනයකින් යටපත් කරන්න ඉඩ නොදිය යුතුයි. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ඉදිරියට ගෙන ඒ සඳහා ජනතාව පෙළ ගැස්‌විය යුතුයි.
මේ අලුත් ආණ්‌ඩුව විසින් ඉදිරියේදී ගෙන එන පළමු අයවැය රටේ ජනතාවගේ තත්ත්වය තිබූ ආකාරයට වඩා හොඳ තැනකට ගෙන එන්නේ නැහැ. එමගින් මෙතෙක්‌ ජනතාවට තිබූ වරප්‍රසාද, අයිතිවාසිකම් ගණනාවක්‌ කප්පාදු වෙන බව සහතිකයි. ජනතාවටම හොඳ අයවැයක්‌ ගෙන එන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම එය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට පෙර ගෙන එන්න තිබුණා. එම නිසා මේ ආණ්‌ඩුව තමන්ගේ පළමු අයවැයෙන්ම මෙතෙක්‌ ලද ජනතා විශ්වාසය නැති කර ගන්නා බව ස්‌ථීරයි. ඒ විශ්වාසය බිඳ වැටෙන ජනතාව ඒකරාශී කරගෙන අප ජනතා බලවේගයක්‌ ගොඩ නගනවා."

කේ. පීගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දියාව අවසර ඉල්ලයි

0 comments
හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවන ඉන්දියාවේ එම්. ඩී. එම්. ඒ ආයතනය එල්. ටී. ටී. ඊ සංවිධානයේ මූල්‍ය සම්පාදක සෙල්වරාසා පද්මනාදන්(කේ. පී)ගෙන් නැවතත් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබේ. ඒ පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා බලධාරීන් වෙත ලිපියක් එවීම මගිනි.

පද්මනාදන්ගේ වෙනත් සහකරුවන් හා බැංකු කටයුතු පිළිබඳව එම්. ඩී. එම්. ඒ ආයතනයට තොරතුරු දැනගැනීමට අවශ්‍යව ඇති බව සී. අයි. බී ආයතනය පෙන්වාදෙයි. සෙල්වරාසා පද්මනාදන් යනු ජාත්‍යන්තර පොලීසිය මගින් ද ඉතා අවශ්‍ය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ඇති එල්. ටී. ටී. ඊ සාමාජිකයෙකි. එමෙන්ම ඔහු එම සංවිධානයට අවශ්‍ය අවි ආයුධ හා වෙනත් නවීන උපකරණ සපයමින් එල්. ටී. ටී. ඊ සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා ජාලයට නායකත්වය සපයා ඇත. එමෙන්ම පද්මනාදන් එල්. ටී. ටී. ඊ සංවිධානයේ කේ. පී දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇති අතර විවිධ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට ද සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

මීළඟ අගමැති කවුද?

0 comments
අප්‍රේල් 08වන දින පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලද විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු විවිධ දේශපාලන විශ්ලේෂකයන් ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිධූරය සඳහා කවුරුන් පත්වේද යන කරුණ පිළිබඳව විවිධ අනුමානයන් ඉදිරිපත් කරති.

යෝජනා නාමයන් අතර වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු මෙන්ම මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප දිනාගත් බැසිල් රාජපක්ෂ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන, හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වන ඩී. එම්. ජයරත්න සහ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක යන මහත්වරුන් වේ.